Monday, July 10, 2017

ලංගමට පෙර කොළඹ නගරයේ පොදු ප්‍රවාහනය

1950 දශකයේ කොළඹ නගරයේ ධාවනය වූ ට්‍රෑම් කාර් රථයක් සහ ට්‍රොලි බස් රථයක් 
1958 වසරේ ජනවාරි 01 වන දින, ඒ දක්වා දිවයිනේ මගී ප්‍රවාහනය සිදු කල බස් සමාගම් 70 ක් රජයට පවරා ගනිමින් ලංගම පිහිටවූ බව, අප පෙරදී පල කල 1958 බස් ජනසතුව ලිපිය ඇසුරු කල ඔබ දැනටමත් දන්නා කරුණකි. එහෙත් 1958 ට පෙර කොළඹ නගරය ආශ්‍රිතව පොදු ප්‍රවාහනය ගැන කතා කිරීමේදී බස් සමාගම් වලටම සීමා වීමට නොහැකි කරුණක් ඇත. මන්ද යත්, එවකට කොළඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ විශාල වගකීමක් කොළඹ මහා නගර සභාව සතුවද පැවති හෙයිනි. එම වගකීමට උර දෙමින් කොළඹ නගර සීමාවන් තුල ට්‍රෑම් සේවාව හා ට්‍රොලි බස් සේවාව පවතවාගෙන යාම කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට (Colombo Municipal Passenger Transport Department) භාර වී තිබී ඇත.


කොළඹ ට්‍රෑම් සේවාව -- Colombo Tramways
1899 වසරේ කොළඹ ට්‍රෑම් රථ සේවාව ඇරඹීම
ට්‍රෑම් රථ සේවාවන්හි ඉතිහාසය පිලිබඳ පිරික්සීමේදී කොළඹ ට්‍රෑම් රථ සේවාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබී ඇත. දකුණු ආසියාවේ මුල්ම ට්‍රෑම් රථ සේවය වන්නේ කොළඹ ට්‍රෑම් රථ සේවාවයි. එහි ආරම්භය 1899 වසර දක්වා අතීතයට විහිද යන්නකි. 1899 වසරේ සැප්තැම්බර් මස 12 වන දින බ්‍රිතාන්‍ය පාලනය යටතේ ට්‍රෑම් රථ සේවාව ආරම්භ කර ඇත්තේ 'Boustead brothers Ltd.' නම් සමාගමක් මගිනි. කෙසේ වුවද මහජනයාට මෙම සේවාව විවෘත්තව ඇත්තේ 1900 වසරේ ජනවාරි මස  13 වන දින සිටය. 1929 වසරේ Boustead brothers සමාගමට විරුද්ධව සේවක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වී ඇත. ට්‍රෑම් රථ විදුලි රැහැනක් කඩා වැටීම නිසා මගියෙකු මරණයට පත්වීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති අතර එවන් අනතුරු යලි ඇතිවීම වලක්වා ගැනීම සඳහා කමිටුවක් ද පත් කර ඇත. 1944 වසරේ සැප්තැම්බර් මස 01 වන දින Boustead brothers සමාගමට රුපියල් 3 663 443 ක මුදලක් ගෙවා ට්‍රෑම් රථ සේවාව කොළඹ මහා නගර සභාව වෙත පවරා ගෙන ඇති අතර 1960 වසර දක්වාම සේවාව පැවතී ඇත.

1959 වසරේ කොළඹ නගරයේ ධාවනය වී ඇති අංක 46 දරණ ට්‍රෑම් රථය
ට්‍රෑම් රථ ධාවනය වී ඇත්තේ  අඩි 3 අඟල් 6 ක (​1,067 mm) පළලකින් යුතු රේල් පාරක් (grooved street track) මතය. රථයට ජවය සැපයෙන්නේ විදුලි රැහැන් මගින් වන අතර රැහැනේ සිට රථයට විදුලිය හුවමාරු වී ඇත්තේ 'Trolley pole' ක්‍රමයටය. ධාවනය වූ 60 වසර පුරාම විවිධ ස්වරූපයේ ට්‍රෑම් රථ කොළඹ නගරය තුල සැරිසරා ඇති අතර එයින් කිහිපයක ඡායාරූප පහතින් දැක්වේ.

කොළඹ වීථියක ධාවනය වූ ට්‍රෑම් රථයක්
1950 දශකයේ පිටකොටුව. ඉදිරියෙන්ම ධාවනය වන ට්‍රෑම් රථයක් රූපයේ දැක්වේ. උපුටා ගත්තේ තැපැල්පතකිනි.
කොළඹ නගරයේ ධාවනය වූ තවත් ට්‍රෑම් රථයක්
කනගාටුවට කරුණක් වන්නේ අද වන විට කොළඹ ට්‍රෑම් රථ සේවාව හා එහි ඉතිහාසයට අදාළ කිසිවක් නිසි සංරක්ෂණයකට ලක්ව නොතිබීමයි. එසේ ලක්ව තිබුණි නම් අද එයට විශාල වටිනාකමක් මෙන්ම සංචාරක ආකර්ෂණයක් ද නිසැකවම හිමි වෙනු ඇති. අදටත් කොළඹ නගරයේ කැනීම් කරන අවස්ථාවන් වලදී ට්‍රෑම් රථ වලට අදාළ පීලි ඇතුළු උපාංග පොළවෙන් මතුවේ.
කොළඹ නගරයේ භූගත විදුලි රැහැන් සඳහා කැණීම් කරන අවස්ථාවක මතු වූ ට්‍රෑම් රථ පීලි කොටස්.
ඡායාරූපය: අමිල චතුරංග 

කොළඹ ට්‍රොලි බස් සේවාව -- Colombo Trolley Buses (1951 - 1964)
මාර්ග අංක 669 යටතේ කොටහේන, පිටකොටුව හරහා මරදාන අතර ධාවනය වූ BUT 9611T වර්ගයේ
Weymann බඳ සහිත ට්‍රොලි බස් රථයක්
ට්‍රෑම් රථ සේවාව රේල් පීලි වලට සීමා වීම නිසාත්, පහසුකම් අඩු වීම නිසාත්, දිනෙන් දින ඉහල යන මගී ගහනය නිසාත් නගරය තුල පොදු ප්‍රවාහනය තවදුරටත් විධිමත් කිරීමට කොළඹ මහා නගර සභාවේ මගී ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවට අවශ්‍ය විය. ඒ හෙයින් වඩා සුව පහසු ට්‍රොලි බස් රථ ධාවනයට එක් කිරීමට ඔවුන් පියවර ගන්නා ලදී. ඒ අනුව 1951 වසරේ කොළඹ ට්‍රොලි බස් සේවාව ආරම්භ කරන ලදී. ඒ සඳහා සියළුම බස් රථ එංගලන්තයෙන් නවතම බස් රථ ලෙස ආනයනය කර ඇති අතර ඒ වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 කි. සමස්ත නගරයම ආවරණය වන ලෙස ට්‍රොලි බස් සේවාව පුළුල් කිරීමට, මහා නගර සභාව රජයෙන් ඉල්ලා සිටියද ට්‍රෑම් රථ ධාවනය වූ මාර්ග වල පමණක් ට්‍රොලි බස් රථ සේවා පවත්වාගෙන යාමට ඔවුනට රජයෙන් අවසර හිමි වී ඇත.

එන්ජින් රහිත ට්‍රොලි බස් රථ සඳහා අවශ්‍ය ජවය සැපයෙන්නේද මාර්ගයේ විශේෂයෙන් ඇදි විදුලි රැහැන් මගිනි. රැහැන් වල විදුලිය බස් රථ තුලට සම්ප්‍රේෂණය කිරීම සිදුවන්නේ රථ වල වහලයේ සවි කල පැන්ටනෝග්‍රාප් (Pantograph) උපකරණ මගිනි. එම ජවයෙන් විදුලි මෝටර කරකවා එම ජවය බස් රථයේ රෝද වෙත් සම්ප්‍රේෂණය කිරීම සිදුවේ.

කොළඹ ට්‍රොලි බස් සේවාව සමඟ ප්‍රධාන ට්‍රොලි බස් වර්ග 2ක් එකතු වී ඇත. BUT 9611T තට්ටුවකින් යුක්ත Weymann හා  East Lancashire බඳ වර්ග සහිත දෙමහල්  ට්‍රොලි බස් මෙන්ම Sunbeam MF2B තට්ටුවකින් හා East Lancashire බඳකින් යුතු තනි මහල් ට්‍රොලි බස් රථ එම වර්ගයන් වේ. දෙමහල් බස් රථ 35ක් 1951 සහ 1952 වසර වල ධාවනයට එක් වී ඇත. ඒවාට CV-2237 සිට CV-4204 අතර ලියා පදිංචි අංක ලැබී ඇත. තනි මහල් බස් රථ 26ක්  1956 වසරේ ධාවනයට එක් වී ඇත. ඒවා සඳහා 33ශ්‍රී193 සිට 33ශ්‍රී991 අතර ලියා පදිංචි අංක ලැබී ඇත. ඒ අනුව මුළු ට්‍රොලි බස් රථ ඇණිය 61 කි.

කොළඹ ට්‍රොලි බස් සේවාව වෙනුවෙන් නිපදවූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථයක්
එංගලන්ත Weymann කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී. 
කොළඹ ට්‍රොලි බස් සේවාව වෙනුවෙන් නිපදවූ, East Lancashire බඳ සහිත Sunbeam MF2B ට්‍රොලි බස් රථයක්
එංගලන්ත East Lancashire කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී. 

කොළඹ ට්‍රොලි බස් රථ සේවාවට අදාළ  ඡායාරූප කිහිපයක් පහත දැක්වේ
කොළඹ නගරයේ ධාවනය වූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථ
කොළඹ නගරයේ ධාවනය වූ, Weymann බඳ සහිත BUT 9611T ට්‍රොලි බස් රථයක්
කොළඹ නගරයේ ධාවනය වූ, East Lancashire බඳ සහිත Sunbeam MF2B ට්‍රොලි බස් රථයක්

ට්‍රොලි බස් රථ ගාල් කල ඩිපෝ අංගනයක්.

Weymann බඳ සහිත BUT 9611T වර්ගයේ දෙමහල් ට්‍රොලි බස් රථයක රියදුරු කුටිය
1958 ජනවාරි 1 වන දිනෙන් පසු මුළු දිවයිනේ සමස්ථ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවාවන් හි වගකීම ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පැවරුණු අතර මණ්ඩලය සතුව විධිමත් ව්‍යාවස්ථාවක් මෙන්ම වැඩපිළිවෙලක් ද විය. එහෙයින් ට්‍රොලි බස් වල අවශ්‍යතාවය දිනෙන් දින අවම මට්ටමකට පත්වී ඇත. විදුලි හා නඩත්තු වියදම් වැඩි වීමද එක් හේතුවක් යයි ඇතැමුන්ගේ මතයයි. අවසන 1964 වසරේ ජනවාරි මස 12 වන දින ට්‍රොලි බස් සේවාව නවතා දැමුණු අතර ඉතිරි බස් රථ ලංගම වෙත පවරා දී ඇත. එන්ජින් නොමැති තනි තට්ටුවේ ට්‍රොලි බස් රථ තවත් තනි තට්ටුවේ බසයක් අධාරයෙන් ඇදගෙන යමින් (trailer bus) ධාවනය කරවා ගාළු පාරේ නියමු ව්‍යාපෘතියක් ලංගම මගින් ක්‍රියාත්මක කර තිබුනද, එයද අසාර්ථක වූ තැන මෙම රථ ලංගම මගින් වෙන්දේසියට නියම කර ඇත.
වෙන්දේසියට නියම වූ ට්‍රොලි බස් රථ. ලංගම වේරහැර වැඩපොළ පරිශ්‍රයේ දී.
පාඨක ප්‍රජාව තුල මෙම සේවාවන් පිලිබඳ තිබුණු අනවබෝධයත් ඔවුන්ගේ ඉල්ලීමත් මත මෙම විශේෂ ලිපිය පළ කිරීමට තීරණය කලෙමි. මෙම සේවාවන් පිලිබඳ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයිද විශවාස කරමි. කාලයේ වැලි තලාවන්ගෙන් වැසී ගොස් තිබුණු තවත් අපූරු පොදු ප්‍රවාහන පුරාවෘත්තයන් දෙකක් පිලිබඳ සටහන මෙසේ නිම කරමි.

පසු සටහන:
අතීතයේ මෙවන් නවීනතම පොදු ප්‍රවාහන පද්ධතීන්ට උරුමකම් කියූ අප, අද පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇත්තේ ප්‍රගතියක්ද, ආපස්සට ගමන් කිරීමක් දැයි අප අපගේම හදවත් වලින් විමසිය යුතුය. අඩුම තරමින් අනාගත පරපුරට දැක ගැනීමට මේවයින් යම් කොටසක් සංරක්ෂණය කල යුතුව තිබුනද එයටද අපට හැකියාවක් ලැබී නොමැත. විදේශික ඡායාරූප ශිල්පීන් අප රටට පැමිණ ලබාගත් මෙවන් ඡායාරූප නොවන්නට, මේවා පිලිබඳ එක අංශු මාත්‍රයක් හෝ අපට දැන ගැනීමට නොලැබෙන්නට තිබුණි. ඔවුන්ට කෙරෙන ගෞරවයක් වශයෙන් ඡායාරූප වල අයිතිය සුරකින මෙන් සියලුම පාඨකයින් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 

සටහන: උත්පල දිල්හාන්

ආශ්‍රිත: www.bokhans.com
           Wikipedia නිදහස් විශ්වකෝෂය 
           Sri Lankan Buses Past and Presents (by: Maurice Bateman and Malcom Chase)
           කොළඹ පුරාණය (කතෘ: සමන් කළුආරච්චි)

ඡායාරූප: www.bokhans.com
               David Beilby
               Wikipedia නිදහස් විශ්වකෝෂය
               අමිල චතුරංග
               Buzzer999 on flickr
               John Shearman - Sri Lankan Buses Past and Presents

7 comments:

  1. ට්‍රොලි බස් සේවාවක් ලංකාවේ ක්‍රියාත්මක උනා කියලා දැන ගත්තෙත් මේ ලිපිය කියෙව්වට පස්සේ..
    බොහොම ස්තූතියි මේ වගේ වටින ලිපියක් පළ කල එක ගැන පින්තූරත් එක්කම..

    ReplyDelete
    Replies
    1. ඉතාම සතුටුයි මෙම අඩවිය හරහා ඔබ යම් දැනුමක් ලබා ගත්තේ නම්..

      Delete
  2. මේ සම්බන්ධව මෙතෙක් ලබා තිබූ දැනුමේ අඩු පාඩු රැසක් මා සම්පූර්ණ කර ගත්තා. ස්තුතියි.

    ReplyDelete
  3. අප කිසිම දෙයක වටිනාකමක්නොදන්නා ජාතියක්. නවසීලන්තය මේ ට්‍රෑම් කාර් සේවය අදටත් සංචාරක ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස අදටත් පවත්වාගෙන යනවා. මා කුඩාකල මේ මේ ට්‍රෑම් කාර් සේවය දැක තිබෙනවා. පැරණි මතකය අලුත් කිරීමට ඔබේ ලිපිය උපකාරී උනා. ස්තුතියි

    ReplyDelete
  4. 1961/62 වර්ෂයේ දිනක කොළඹ විභාගයකට පැමිණ ආපසු කොටුවට ගියේ ට්‍රොලි බස් එකකින්. එය අමතක නොවෙන දෙයක්. මෙම ලිපියෙන් මගේ මතකය අලුත්වුනා. ස්තුතී.

    ReplyDelete
  5. වටින ලිපියක් හා ඡායා රූප පෙලක්. බොහොම ස්තූතියි මහත්මයා..

    ReplyDelete
  6. කවදාවත් නොදැක්ක දෙයක් උදේම මේක නිසා දැන ගත්ත ❤️ ස්තූති ඔබට

    ReplyDelete